කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය මෙතෙක් කළක් බලා ගත් ශ්‍රී ලාංකික සේවිකාවට භාර දී  ආපසු පළා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම 35 හැවිරිදි චීන ජාතික කාන්තාවට දියණියන් දෙදෙනෙකු සිටින අතර එයින් වයස අවුරුදු 03 යි මාස 06 ක් වන බාළ දියණිය ඇය බලාගැනීමට සිටින ශ්‍රී ලාංකික සේවිකාවට දැඩි ලෙන්ගතුකමක් දක්වන බව සදහන්.

මෙම ශ්‍රී ලාංකික සේවිකාව කුරුණෑගල පොල්ගහවෙළ පොතුහැර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පසුගිය දා තම සේවා කාළය අවසන්ව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මෙම වෙන්වීමෙන් චීන ජාතික කුඩා දැරිය මහත් අපහසුතාවයට පත් වී සිටි අතර ඇය අස්වසාලන්නට නොහැකි තත්වයකට මෙම චීන ජාතික මව පත්ව තිබෙනවා.

මේ කිසිවක් සදහන් නොකළ මෙම චීන කාන්තාව ශ්‍රී ලාංකික සේවිකාව අමතා තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බවත් ඔවුන් රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් දන්වා තිබෙනවා.

ඒ අනුව ඇය පිළිගැනීම සදහා මෙම සේවිකාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර මෙම චීන ජාතික කාන්තාව ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළේ දී මොවුන් මුණ ගැසී ඇති අතර මද වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි චීන ජාතික කාන්තාව ඇයගේ බාළ දියණිය ශ්‍රී ලාංකික සේවිකාව අතට දී එකවරම ගුවන් තොටුපොළෙන් අතුරුදහන් වී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ වහාම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කිරීමට ශ්‍රී ලාංකික සේවිකාව පියවර ගෙන තිබුණා.

ඒ අනුව මෙම කාන්තාව සහ කුඩා දැරිය මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි මෙම චීන ජාතික කාන්තාව සහ ඇයගේ මව අත් අඩංගුවට ගෙන තිබුණා.

මේ වනවිට මෙම චීන ජාතික කාන්තාවන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content