සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුළු 08න් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව පළමු ඉනිම පන්දුවාර 31ට සීමා කිරීමටයි විනිසුරුවන් තීරණය කළේ.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 31ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 127ක් රැස් කළා.

අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29දී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 196ක ඉලක්කයක් හිමි වුණා.

එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 26යි පන්දු 5ක් අවසානයේ රැස් කර ගනිමි ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 80දී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 140ක්.

ඒ අනුව දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ ඕමාන කණ්ඩායම ලකුණු 74න් පරාජයට පත් කරමින්.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව පළමු ඉනිම පන්දුවාර 48ට සීමා වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 48 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 362ක්.

අනතුරු නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී ඕමාන කණ්ඩායමට පන්දුවාර 44දී ලකුණු 321ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය ඕමාන කණ්ඩායමට පන්දුවාර 44 අවසානයේ කඩුළු 06ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 246ක් පමණයි.

 

WhatsApp Group

Skip to content