අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම සුබ පැතුම් පණිවිඩය මෙසේය.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි. මෙලෙස නැකැත් චාරිත‍්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින්, පාරම්පරික සම්ප‍්‍රදායන් හා සිරිත් සුරකිමින් එකම අරමුණකින් යුතුව, එකම මොහොතක එකම නැකතකට එක්ව කටයුතු කිරීම ලොව කිසිදු රටක සංස්කෘතියක දක්නට නොලැබේ.

ස්වභාවධර්මයා සමඟ ගනුදෙනු කළ අපේ මුතුන්මිත්තෝ අලුත් අවුරුද්දේ එය තව තවත් යථාවත් කළෝය. ඔවුන්ගේ දරු මුනුපුරන් වූ අපට ආහාර සුරක්ෂිතතාව, සකසුරුවම, අපේකම, සමගිය පිළිබඳ යළි යළි අකුරු කරන්නට අවශ්‍ය නොවේ. අවශ්‍ය ක්‍රියාත්මකභාවයයි.

ආහාර හා ආර්ථික අර්බුදයකට මුහුණදී, රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව ගොවි ජනතාව කළ මෙහෙය මේ අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතුයි. පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කොට ඇත. මේසා රෝග ව්‍යසන, ආර්ථික හා සමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටුවෙමු. ඒවා යළිදු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් අරඹමු.

 

WhatsApp Group

Skip to content