වසර තුනක සිට අතපසු ව පැවති අධ්‍යාපන පරිපාලන සේවා 111 ශ්‍රේණියේ කුසලතා මත පත්වීම් ලබාදීමේ කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල්වල නැවතී තිබූ සියලු පාසල් ක්‍රීඩා වාර්ෂික ව නැවත පවත්වන බවත් අතපසු ව පැවති ක්‍රීඩා සියල්ල පවත්වා අවසන් කර විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ද යථා තත්වයට ගෙන ආ බවත් පසුගියදා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

සිසුන්ගේ සතිමත්බව සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක සතිපාසල් වැඩසටහන ද කිසි දු භේදයකින් තොර ව සෑම ජන වර්ගයකට ම අයත් පාසල්වල සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වන අතර ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් පාදක ප්‍රායෝගික වැඩසටහන් ද පාසල් තුළ ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍යවරයා පැවසී ය.

තව ද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමෙන් පසු පාසලේ දී ම සිසු සිසුවියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන ද මේ වන විට සාර්ථක ව ක්‍රියාවට නංවා ඇති බව ඒ මහතා කී ය.

අධ්‍යාපන පරිපාලන සේවයට වසර තුනක කාලයක් තුළ නිලධාරීන් බඳවාගෙන නොතිබූ අතර මේ වන විට සංවෘත්ත විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ජූනි 30ට පෙර 404ක් පත්වීම් ලබා දීමටත් විවෘත විභාගයට ඉදිරියේ දී පැවැත්වීමටත් කටයුතු යොදා ඇති බව ද පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 808ක් පිරවීමට දෙවෙනි සම්මුඛ පරීක්ෂණවල ද අවසන් අදියරට පැමිණ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් ‍කළේ ය.

WhatsApp Group

Skip to content