ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින්, කිරින්දේ සිට නාවික සැතපුම් 179 ක් (කිමි 331 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී අනතුරකට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ගාල්ල වරාය දෙසට රැගෙන ඒමෙන් පසු අද දින (2024 ඔක්තෝබර් 23) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු  කෙරිණි.

කප්පරතොට ධීවර වරායෙන් 2024 ඔක්තෝබර් මස 15 වන දින ධීවරයින් පස් දෙනෙකු (05) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Hansana 01” (ලියාපදිංචි අංක IMUL-A- 1149 MTR) නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු, ධීවර කටයුතු සිදුකරමින් සිටියදී හදිසි අනතුරක් මත ඇඟිල්ලකට සිදුවු තුවාලයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත. එම ධීවරයා වෙත ප්‍රථිකාර කිරීම සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අනතුරට පත්ව සිටි ධීවරයා ගොඩබිම ආසන්නයට රැගෙන එමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා, දකුණු නාවික විධානයට අනුයුක්ත වේගප්‍රහාරක යාත්‍රාවක් යෙදවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අනතුරට පත් ධීවරයා වෙත මුළික ප්‍රථමාධාර ලබාදෙමින් අද දින (2024 ඔක්තෝබර් 23) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා මෙලෙස කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

WhatsApp Group

Skip to content