මෙම වසරේදී කොරියානු රැකියා සඳහා බඳවා ගනු ලබන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු තානාපති ලී මියොන් ඇතුළු දූත පිරිසක් අතර ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීයි මේ බව ප්‍රකාශ වී ඇත්තේ.

මෙහිදී කොරියානු භාෂා දැනුම ඇති පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථා හිමිවන බවයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් සඳහන් කර සිටියේ.

සෞඛ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් ලැබෙන සහයටත්, කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙළටත් මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ස්තුතිය පළ කළා.

තරුණ නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා තවදුරටත් කොරියානු රජයේ සහය බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එම යෝජනා සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව සඳහන් කළ කම්කරු අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසුවේ මෙම ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී කොරියානු භාෂාව උගන්වන ශ්‍රී ලංකාවේ ආයතන සහ විශ්වවිද්‍යාල නැරඹීමේ අදහසක් තමන්ට ඇති බවයි.

WhatsApp Group

Skip to content