නවගමුව, තුංඅඳහේන ප්‍රදේශයේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලද පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඊයේ(10) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ගලබොඩවත්ත, කොරතොට නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තමන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා නිවසේ සිටි පුද්ගලයෙකු ඔවුන් පැමිණි යතුරු පැදියේම නංවාගෙන රැගෙන ගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා නිවසින් බැහැරට රැගෙන යාමේදී ඇති වූ සැකය මත නිවැසියන් යතුරු පැදිය පසුපස ලුහුබැඳ ඇති බවයි පොලිසිය පවසන්නේ.

යතුරු පැදියේ නංවාගෙන ගිය පුද්ගලයා කොරතොට, වැලිහිංතුඩුව, මහවෙල බෝක්කුව ආසන්නයේ හිසෙහි බරපතල තුවාල සහිතව ඇද වැටී සිටියදී නිවැසියන්ට හමුව තිබෙනවා.

පසුව ඔවුන් තුවාලකරු අතුරුගිරිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසු මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොරතොට, ගලබොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 34ක් වූ එක්දරු පියෙකි.

වෙඩි තැබීමෙන් සිදු වූ ඝාතනයක් බවට අනාවරණ වූ අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයාට 2011 වර්ෂයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවටද අනාවරණ වනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

 

WhatsApp Group

Skip to content