රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයෙන් පිට කර ගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනකු සමග කටුනායක  රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/10 දින අත් අඩංගුවට ගෙන තිබේ .
කොළොම්බියාවේ බොගොටා නගරයේ සිට ඉකුත් 08/25 දින මෙම පාර්සලය ගම්පහ , ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් , ෆිට්ස් එයාර් කූරියර් සේවාව ඔස්සේ  එවා තිබුණි .
කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 24 , අය්යා සහ මල්ලී දෙදෙනෙකු සහ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ගුවන් භාණ්ඩ ගම්මානයේ සේවය කරන වාප්පු ලිපිකරුවකු මෙම පාර්සලය නිදහස් කර ගෙන පිටව යාමට තැත් කරමින් සිටියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ .
රෝගීන් සදහා භාවිතා කරන වායුව පොම්ප කරන වෛද්‍ය උපකරණයක් තුළ වූ මෝටරය තුළ සගවා මෙම කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 139 ක් වූ කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා ගුවන් තොටුපොළ භාණ්ඩ ගම්මානයෙන් පිට කර ගෙන යාමට තැත් කළ පුද්ගලයන් තිදෙනා ද මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

WhatsApp Group

Skip to content