ශ්රී ලංකාවේ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකත්වය නඟා සිටුවීමේ අරමුණින් කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) , යුනිලීවර් ශ්රී ලංකා සමාගම සමග අවබෝධතා ගිවිසුමකට (MOU) එළැඹීම කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (12) සිදු විය.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්ය සාරංග අලහප්පෙරුම මහතා සහ යුනිලීවර් ශ්රී ලංකා සමාගමේ සභාපති හා විධායක නිලධාරී අලි තාරික් මහතා විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ පැවති උත්සවයකදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ක්ෂුද්ර, සුඵ හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා ක්රියාත්මක කරන කර්මාන්ත සංවර්ධන අරමුදලට මෙම අවබෝධතා ගිවිසුම අනුව යුනිලීවර් ශ්රී ලංකා සමාගම අඛණ්ඩව වසර තුනක් වාර්ෂිකව රුපියල් මිලියන 10 බැගින් මිලියන 30 ක් ලබාදෙනු ඇත. ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව තෝරාගත් කාන්තා ව්යවසායකයින් 10 දෙනෙක් සඳහා ‘Industry ණය’ යෝජනා ක්රමය යටතේ මුදල් ප්රදානය කිරීමද මෙහිදී සිදු කළ අතර සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් 60 දෙනෙක් සවිබල ගැන්වීම සදහා කර්මාන්ත සංවර්ධන අරමුදල හරහා යුනිලීවර් ශ්රී ලංකා සමාගම තම දායකත්වය ලබා දෙනු ඇත.
1969 අංක 36 දරණ කාර්මික සංවර්ධන පනත අනුව ‘කර්මාන්ත සංවර්ධන අරමුදල’ ආරම්භ කළ යුතුව තිබුණත් දශක ගණනාවක් පුරා මගහැරුණු එය කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පසුගිය වසරේ පැවැත් වූ ජාතික කර්මාන්ත ප්රදර්ශනයට සමගාමීව ආරම්භ කරනු ලැබිණි. එලෙස ආරම්භ කළ කර්මාන්ත සංවර්ධන අරමුදල මගින් ‘ Industry ණය’ යෝජනා ක්රමය හරහා 6%ක් වැනි ඉතා අඩු පොලියක් යටතේ වසර 3ක ගෙවීම් කාලයකට යටත්ව ලක්ෂ 5ක් දක්වා උපරිම ණය මුදලක් තම කර්මාන්ත සංවර්ධනය සඳහා සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට ලබාගැනීමේ හැකියාව ඇත.

WhatsApp Group

Skip to content