ත්‍රස්ත සංවිධානයක් විසින් වළ දමන ලද කිලෝ විස්සක් පමණ බරැති විශාල බෝම්බයක් සොයා ගැනීමට මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද  හමුදාවේ සංග්‍රාමික රථ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් සමත්ව ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

සංග්‍රාමික ආරක්ෂක අංශයේ 4 වන කණ්ඩායම විසින් මෙම අධිබලැති බෝම්බය සොයාගෙන ඇත්තේ මාලි රාජ්‍යයේ ටෙසාලිට් සිට ගාඕ දක්වා සෝදිසි මෙහෙයුමක් අතරතුරදී කාන්තාර වැලි බිම් මාර්ගයක වළ දමා තිබියදීයි.

යුද හමුදාව සැකපළ කරන්නේ සාමසාධක හමුදාවේ රථ පෙල ඉලක්ක කර ගනිමින් මෙලෙස බෝම්බය අටවා ඇති බවටයි.

ප්ලාස්ටික් උපකරණයකට අධිබලැති පුපුරණ ද්‍රවය අඩංගු කරමින් මෙම අධිබලැති බෝම්බ සකසා තිබූ බවද යුද  හමුදාව පවසනවා.

පසුගිය මැයි මස 22 වනදා සාමසාධක රථ පෙළක් ටෙසාලිට් දක්වා ගමන් කරමින් තිබියදී ශ්‍රී ලංකා යුද හමුදා ආරක්ෂ රථයක් මාර්ගයේ අටවා තිබූ බිම්බෝම්බයකට හසුවීමෙන් යුද හමුදා නිලධාරියෙක් අතුළු සිව් දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක ඛණ්ඩයේ භට පිරිස් භූමියේ දුෂ්කරතා ගැන නොතකා, භට කාර්ය සම්පාදක රථ, ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සහ භාණ්ඩ කරන ට්‍රක් රථ සඳහා ආරක්ෂාව සපයනු ලබනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක ඛණ්ඩයේ භට පිරිස් සුපරීක්‍ෂාකාරීව සහ ජීවිත අවධානමද නොතකා තම රාජකාරී කිරීම් වගකීමෙන් යුතුව ඉටු කරන බවයි යුද හමුදාව වැඩිදුරටත් පවසන්නේ.

 

 

WhatsApp Group

Skip to content