හදිසි ඖෂධ මිලදී ගැනීම සම්පූර්ණයෙන් නතර කොට එය ප්‍රසම්පාදන පටිපාටිය ඔස්සේ සිදුකිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඖෂධවල ගුණාත්මක බව පිළිබද පූර්ණ වගකීම ඖෂධ අධීකාරියට පවරා දී ඇතැයි ද කී ලේකම්වරයා පිළිකා රෝගීන් සඳහා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මගින් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් සඳහා පැවැති පුහුණු පාඨමාලාව නිමකළ වෘත්තිය රියදුරන් හට සහතික පත් ප්‍රදානය නිමිත්තෙන් මහනුවර ජාතික රෝහලේදී පැවැති උත්සවයට සහභාගී වෙමිනි.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරියේදි බෙදා හරින ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සැකයක් ඇති කර නොගත යුතු බවත් එවැනි ඖෂද බාල තත්ත්වයෙන් පසුවීමට ඉඩ නොමැති බවත් ලේකම්වරයා පැවසුවේය. සිය අමාත්‍යංශය මගින් ගෙන්වන ඖෂධවල ගුණාත්මක තත්ත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන බව කී ඒ මහතා යම් අයුරකින් ඖෂධ ගැටලුකාරී වන්නේ නම් ඒවා වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බව ද තව දුරටත් පැවසුවේය.

WhatsApp Group

Skip to content