ඕමානයේ විදේශ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු මාතලේ ඇල්වල ප්‍රදේශයේදී අද(08) අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය පවසනවා.

එම ඒකකය කියා සිටියේ දිවයින පුරා ප්‍රදේශ රැසක පුද්ගලයින් මෙම මූල්‍ය වංචාවට හසුව ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මාතලේ ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වනවා.

මොහු විසින් පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර, දඹුල්ල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයන්ට ඕමාන්හී විදේශ රැකියා අවස්ථාවන් ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වංචා කොට ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලයට හා මහනුවර හා දඹුල්ල කාර්යාලය වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

අදාළ පැමිණිලිවලට අනුව සිදුකරන ලද විමර්ශනයන්ගෙන් අනතුරුව අදාළ සැකකරු මාතලේ ඇල්වල ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද විමර්ශනයන්ගෙන් සිද්ධියට අදාළ මහ මොළකරු කොළඹ ප්‍රදේශයේ රැඳී සිටිමින් මෙම ජාවාරමට එක්ව ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව විශේෂ විමර්ශන ඒකක නිලධාරීන් කියා සිටියා.

මෙම වැටලීම විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරුවන් වන එම්.කේ. සුමනවීර, අමිල පෙරේරා, මදුශාන් විජේවර්ධන හා විමර්ශන සහායක නිලධාරීන් වන මනෝරි හා ගයේෂා යන නිලධාරීන් සහ නිලධාරිණියන් සහභාගී වූ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content