බහරේනයේ ස්ථාපිත ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන, ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combined Maritime Force – CMF) යටතේ ක්‍රියාත්මක 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ වත්මන් අණදෙන නිලධාරී, කොමදෝරු Haytham Elsayed Khalil ඇතුළු නිලධාරීන් පිරිසක් අද දින (2024 ඔක්තෝබර් 02) නිළ හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ අණදීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගැනීමට නියමිතව ඇත.  

ඒ අනුව, නාවික හමුදාධිපති විසින් කොමදෝරු Haytham Elsayed Khalil නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිරියේදී අණභාර ගැනීමට නියමිත  ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combined Maritime Force – CMF) යටතේ ක්‍රියාත්මක 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ කාර්යභාරය ඇතුලු ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

රාජ්‍යයන් 46 ක නාවික හමුදාවන් සහ සමුද්‍රීය පාර්ශවකරුවන්ගෙන් සමන්විතව බහරේන් රාජ්‍යයේ මූලස්ථානය සහිතව; කලාපීය සහයෝගීතාවය, මුහුදේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ මුහුදු මංකොල්ලකෑම් මැඩ පැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන මෙම ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 39 වන සාමාජිකයා ලෙස ශ්‍රී ලංකාව 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී සන්ධාන ගත විය. ඒ අනුව, ලොව වැදගත් මුහුදු ගමන් මාර්ග සහිත සාගර කලාපයේ නිත්‍යානුකූල භාවිතය ප්‍රවර්ධනය සඳහා සුරක්‍ෂිත සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමේ ඒකාබද්ධ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සඳහා සහභාගී වේ.

WhatsApp Group

Skip to content