ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුමේ දී මියගිය ශ්‍රී ලාංකික සාත්තු සේවිකා අනුලා ජයතිලක මැණිකේ මහත්මියගේ මෘත දේහය අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබෙනවා.

49 හැවිරිදි අනුලා ජයතිලක මහත්මිය ඊශ්‍රායලයේ එකම නිවසක දස වසරකට ආසන්න කාලයක් සාත්තු සේවිකාවක ලෙස සේවය කර තිබෙනවා.

ඇයගේ මෘත දේහය අද (28) දින උදෑසන 09.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. – 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන විත් තිබුණා.

මෙම මෘත දේහය භාර ගැනීම සදහා අනුලා ජයතිලක මහත්මියගේ ස්වාමිපුරුෂයා, දුව, පුතා සහ තවත් ඥාතීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල කොන්සල් ජනරාල් දිනේෂ් රොද්‍රිගු මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියා.

මෙම මෘත දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, එහි අවසන් කටයුතු සිදු කිරීමට මෙන්ම මෙවැනි විපත් අවස්ථාවලදී පරිහරණය කිරීම සඳහා ඊශ්‍රායලයේ විශේෂ අරමුදලක් ඇති අතර, එයින් මුදල් ප්‍රමාණයක් ද අනුලා ජයතිලක මහත්මිය වෙනුවෙන් එම පවුලට ලබාදීමට පියවර ගන්නා බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා පැවසීය.

WhatsApp Group

Skip to content