ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ පස්වරුවේ ආරම්භ වූ මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වන වටයේ තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අද දිනය දක්වා කල් දැමීමට විනිසුරුවන් තීරණය කළා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර පන්දුවාර 24 යි එක් පන්දුවක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

අනතුරුව පැය කිහිපයක් ක්‍රීඩාංගන සේවකයින් විසින් ක්‍රීඩාංගනය තරගය ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයකට පත් කිරීමට උත්සාහ දැරූ නමුත් රාත්‍රී 8.30 ට පමණ යළි වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තරගය අතිරේක දිනය වන අද දිනය දක්වා කල් දැමීමටයි කටයුතු කෙරුණේ.

ඒ අනුව තරගය ඊයේ දිනයට නතර කෙරුණු අවස්ථාවේ සිට පන්දුවාර 50 තරගයක් ලෙස අද පස්වරු 3 ට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඇමරිකානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නොවැක් ජොකොවිච් සමත් වුණා.

එහිදී 6 ට 3 ක්, 7 ට 6 ක් සහ 6 ට 3 ක් ලෙසයි ඩැනියෙල් මෙඩ්වියෙඩෙව් ඔහු අතින් පරාජයට පත් වුණේ.

මෙය නොවැක් ජොකොවිච් දිනා ගත් 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය වනවා.

මේ අතර අමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොකෝ ගෝෆ් සමත් වුණා.

එහිදි ඇය හමුවේ 2 ට 6 ක්, 6 ට 3 ක් සහ 6 ට 2 ක් ලෙස අරීනා සබලෙන්කා පරාජයට පත් වුණා.

WhatsApp Group

Skip to content