සුහුරු තාක්ෂණය පදනම් කරගනිමින් මහවැලි කලාප තුළ කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සහාය වන්නැයි වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමකට, ආසියානු සංවර්ධන බැංකුවෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.

ඒ අනුව, (SMART AGRICULTURE) නවීන තාක්ෂණය සහිතව කෘෂිකර්ම සහ සත්ත්ව පාලන අංශයන්හි සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇත.

පසුගියදා වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියේ, මහවැලි කලාපවල සිටින තරුණ තරුණියන් සුහුරු කෘෂිකර්මාන්තය (SMART AGRICULTURE ) කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වන බැවින්, ඔවුන්ට මූල්‍ය සහාය මෙන්ම, ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ලබාදීමට ද සහාය වන ලෙස යි.

මෙම ඉල්ලීම සලකා බැලූ ආසියානු සංවර්ධන බැංකුව, කෘෂිකර්මාන්තය නවීකරණය තුළින් ඵලදායිතාව උසස් මට්ටමකට ගෙන ඒම සඳහා වන වැඩසටහන් වෙනුවෙන් මෙම ප්‍රතිපාදන ලබාදීමට එකඟතාව පළකර තිබේ.

අද (14) පෙරවරුවේ මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීන් කැඳවා පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ, මෙම ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ආධාරය මහවැලි කලාප ජනතාව ලද ජයග්‍රහණයක් බව යි.

වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික දුෂ්කරතාවය හමුවේ, රටට අවශ්‍ය ආහාර රට තුළ ම නිෂ්පාදනය කර ගැනීමට උනන්දු කරවීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ අභිලාෂය වී තිබේ.

ඒ සඳහා මෙවර අයවැය යෝජනා තුලින් ද අවශ්‍ය මඟපෙන්වීම ලබා දී ඇත. කෘෂිකර්මාන්තය නවීකරණය (modern agriculture) සඳහා ප්‍රමුඛතාවය ලබා දීම තුළින් රටට අවශ්‍ය ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගැනේ.

මහවැලි කලාප තරුණ තරුණියන් සුහුරු තාක්ෂණය සහිත කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමේ ඉහළ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පෙන්වා දෙන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සුහුරු කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් වර්ධනය කර දීමෙන් මහවැලි ගොවි ජනතාව ගේ ආදායම 200% කින් ඉහළ දැමීමට හැකි බව ද සඳහන් කළාය.

මහවැලි කලාප ගොවි ජනතාව මෙරට ජාතික ආර්ථිකය වෙනුවෙන් ලබාදෙන්නේ විශාල දායකත්වයකි. (SMART AGRICULTURE ) නවීන තාක්ෂණය යටතේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමෙන් අනාගතයේදී මහවැලි ගොවි නිෂ්පාදන විදේශ වෙළඳපල කරා ගෙන යමින්, රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීම වෙනුවෙන් ඉලක්කගත වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.

ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 08 ක මුදල, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ජල සුරක්ෂිතතා සහ ආයෝජන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට හිමිවන අතර එම මුදල් වැය කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මේ වන විට වැඩ සැලැස්මක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව මහවැලි කලාප වල කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය වෙනුවෙන් ඩොලර් මිලියන 4 ක් ද, සුහුරු තාක්ෂණය සහිත ආහාර බෝග වගාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් යෙදවේ. එම මුදල් ආරක්ෂිත ගෘහ වගාව, බිංදු ජල සම්පාදනය සඳහා ද යොදා ගැනේ. කුකුළු ගොවිපළ හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 1.5 ක් ද යෙදවීමට පියවර ගැනේ.

මහවැලි කලාපවල කිරි ගොවීන් 12940 ක් සිටින අතර, ඉකුත් වසරේ නිෂ්පාදනය කරන ලද දියර කිරි ප්‍රමාණය ලීටර් මිලියන 54.8 කි. එම ප්‍රමාණය ලීටර් මිලියන 70 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කෙරේ. දියර කිරි නිෂ්පාදනයට ප්‍රධාන බාධකය වී ඇත්තේ පෝෂණීය තෘණ බිම් සීමාසහිත බැවින්, කිරි දෙනුන්ට නිසි ලෙස ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවය යි. තවද, අභිජනන කටයුතු සඳහා පහසුකම් අවම වීමෙන් නීරෝගී දෙනුන් ගේ හිඟයක් ද පවතියි.

යෝජිත වගා වැඩසටහන යටතේ අපනයනය ඉලක්ක කරගනිමින් මහවැලි කලාපවල තෝරාගත් ගොවි පවුල් 1300 ක් යොදා ගෙන එක් පවුල් ඒකකයක් සඳහා අක්කර කාලක හරිත ගෘහ මිරිස් වගාවට යොමු කෙරෙන අතර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමට පියවර ගැනේ.

මීට අමතරව මහවැලි කලාප තරුණ තරුණියන් 3000 ක් සම්බන්ධ කරගනිමින් සුහුරු තාක්ෂණය යටතේ ආහාර බෝග වගාව සිදු කිරීමට නියමිතය. විශේෂයෙන් ආරක්ෂිත ගෘහ වගාව (polytunnel), විසුරුම් ජල සම්පාදනය, ආදි අංශ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සිදුකෙරේ.

ඉකුත් වසරේ මහවැලි කලාප තුළ කුකුළු ගොවිපළ වල බිත්තර නිෂ්පාදනය මිලියන 62 ක් බව මහවැලි අධිකාරිය පෙන්වා දෙයි. එම සංඛ්‍යාව මිලියන 100ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කෙරේ. බිත්තර නිෂ්පාදනයට ද බලපෑමක් වී ඇත්තේ කුකුළු ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවය යි. කුකුළු පැටවුන් සපයා ගැනීමේ දුෂ්කරතාවය ද එම කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලකර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙම මූල්‍ය ආධාර යටතේ උක්ත ගැටලු සඳහා සාධනීය විසඳුම් ළඟා කර ගැනීමට  අපේක්ෂා කෙරේ

WhatsApp Group

Skip to content