ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, මෙවර කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා කඩුලු අටක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

මීට පෙර ආසියානු කුසලාන තරගාවලි පහක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබූ අතර, එම අවස්ථා පහේ දී ම ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්ව තිබුණා.

දඹුල්ලේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු හයක් දැවී ලකුණු 165 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2 ක් දැවී සිටියදීයි.

එය ශ්‍රී ලංකාව පන්දුවාර විස්සයි 20 කාන්තා තරගයක් හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න එක් ලකුණකට දුවද්දී දැවී ගියා.

ඉන් අනතුරුව චමරි අතපත්තු හා හර්ෂිතා සමරවික්‍රම දෙවැනි කඩුල්ලට ලකුණු 87 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව යලි තරගයට අවතීර්ණ කළා.

චමරි ලකුණු 61 ක් රැස් කළේ පන්දු 43 කින්.

ඒ, හයේ පහර දෙකක් හා හතරේ පහර 9 ක් සමගින්.

ඇයගේ දැවී යාමෙන් පසුව ද සටන අත් නොහැරූ හර්ෂිතා හා කවීෂා දිල්හාරි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ තෙවැනි කඩුල්ලට ලකුණු 73 නොබිදුනු සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 51 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 69 ක්.

ඇයගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ඇතුළත් වුණා.

කවීෂා දිල්හාරි නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 30ක්.

WhatsApp Group

Skip to content