භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාවක් ලබාදී ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදුන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ චූදිතයා සම්බන්ධයෙන් පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.

2021 වසරේ පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙකුට පොදු සමාව ලබාදීමේදී එම 94 දෙනා අතරට දුමින්ද සිල්වාද ඇතුළත් වූවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියට අදාළව දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම කෙරුණේ 2016 සැප්තැම්බර් 8 වැනිදායි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මුල්ලේරියාවේදී ඝාතනය වූයේ 2011 ඔක්තෝබර් 11 වනදායි.

එහිදී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකු එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කෙරුණා.

WhatsApp Group

Skip to content