අහුංගල්ල, ඌරගස්මංහන්දිය මාර්ගයේ ගල්වෙහෙර කනිටු විද්‍යාලය ආසන්න ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි.

තුවාල ලැබුවන් එකම පවුලේ මව පියා සහ මාස හතරක් පමණ වයසැති සිඟිති දරුවෙකි.

ඔවුන් අහුන්ගල්ල දෙස සිට ඌරගස්මංහන්දිය දෙසට ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීයි වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ටී-56 ගිනි අවියක් භාවිත කරමින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවද පොලිසිය කියා සිටියා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ අලෙවිසලක් පවත්වාගෙන යනු ලබන දිනේෂ් මුතුමාල් ද සිල්වා, ඔහුගේ බිරිඳ වන ශානි මහේෂා සහ ඔවුන්ගේ මාස හතරක් පමණ වයසැති දරුවායි.

වෙඩි ප්‍රහාරයෙන් කුඩා දරුවාගේ කකුල් දෙකටත් මවගේ බඩ ප්‍රදේශයටත් පියාගේ මුහුණටත් තුවාල සිදුව ඇති බවයි අහුංගල්ල පොලිසිය කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

තුවාලකරුවන් තිදෙනා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පිරිමි පුද්ගලයා බලපිටිය රෝහලේත් බිළිඳා සහ මව ගාල්ල කරාපිටිය ශීක්‍ෂණ රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පිරිමි පුද්ගලයා දැනට විදේශගතව සිටින අහුන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයක් වන කලුහත් නදීෂ් කුමාර ආබෘෘ නොහොත් බාබා යන අයගේ බිරිඳගේ සහෝදරයකු බවටද හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

විමර්ශන අංශ සැක පළ කරන්නේ එම ඥාති සම්බන්ධතාවය හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන්නට ඇති බවයි.

වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී හිස් උණ්ඩ 21ක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසනවා.

වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අහුංගල්ල පොලිසියි සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content