උපාධිධාරී ගුරුවරුන් 5500 ක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් ගණිතය විද්‍යාව විදෙස් භාෂා සහ තාක්ෂණවේදය යන විෂයන් සඳහා මෙලෙස අලුතින් ගුරුවරුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මෙවර උසස්පෙළ උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා උත්තරපත්‍ර පරීක්ෂකවරුන් රුපියල් දෙදහසේ දීමනාව පිළිබඳ ගැටලුවක් හේතුවෙන් දින කිහිපයක ප්‍රමාදයක් වූ බවත් උත්තර පත්‍ර පරික්ෂකවරුන්ට රුපියල් දෙදහසේ දීමනාව ගෙවීම ඊයේ (05) අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ වව්නියාව මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල අධ්‍යාපනය නිලධාරීන් සඳහා වව්නියාවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි.

උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන අයගේ සහභාගීත්වයෙන් වව්නියාව සංස්කෘතික ශාලාවේදී මෙම වැඩසටහන අද (06) පැවත්වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ඉදිරි 19 වනදායින් පසුව එලඹෙන සතිදෙක තුලදී දිවයින පුරා පාසල් දරුවන්ට නිලඇඳුම් බෙදාදීම අවසන් කරන බවත් මේ වන විට පෙළපොත් බෙදාදීම 100% ක් අවසන්කර ඇති බවයි.

ප්‍රාථමික අංශයේ 1 – 5  දක්වා ලක්ෂ 16 ක් දරුවන් අධ්‍යාපනය ලබන අතර ඔවුන් සියලු දෙනා සඳහාත් දිවා ආහාරය ලබාදීමට කටයුතුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ පවත්නා පුරප්පාඩු ඉදිරි සති කිහිපය තුලදී පිරවීම සඳහා අවශ්‍ය කටයුතු සලසන බවටත් විදුහල්පතිවරුන්ගේ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සහ ගුරුවරුන්ගේ පවත්නා ගැටලු ඉදිරියේදී කඩිනමින් විසඳීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී විදුහල්පතිවරුන් සහ අධ්‍යපන නිලධාරීන් ඉදිරිපත්කල ගැටලු සඳහා විසඳුම් ලබාදීමටත් කටයුතු කළ අමාත්‍යවරයා අමාත්‍යංශ මට්ටමින් ගතහැකි ක්‍රියාමාර්ග සඳහා වූ යෝජනා එක්රැස් කිරීමද සිදු කෙරුණා.

WhatsApp Group

Skip to content