තරුණ පරපුරට අවශ්‍ය අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම පිළිබඳ රට පුරා පුළුල් සංවාදයක් ආරම්භ කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට තුළ අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අලුත් ගමනක් යා යුතු බවත්, එහිදී තරුණ පරපුරට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (25) අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ දී ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කර තිබු තරුණ හමුවට එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,
“ත්‍රිකුණාමලයේ තිබෙන තරුණ සේවා සභාවට අයත් අක්කර 200ක ඉඩමෙන් කොටසක් සංචාරක ව්‍යාපාරය සඳහා ලබාදී ඉතිරි කොටස ස්ථීර යොවුන් පුරයක් ඇති කිරීම වෙනුවෙන් ලබාදීමට මම අපේක්ෂා කරනවා. ඒ අනුව ඔබේ විනෝදාස්වාද කටයුතු සඳහා නිදහසේ භාවිතා කළ හැකි අන්දමින් ඊළග වසර දෙක තුළදී එය සකස් කර දීමට කටයුතු කරන බව කිවයුතුයි.
මෙවර පොසොන් පොහොය ජනතාව මහත් උදයෝගයෙන් යුතුව සමරනු ලැබුවා. පොසොන් පොහොය නිමිත්තෙන් ලක්ෂ 10කට වැඩි පිරිසක් අනුරාධපුර පුද බිමට පමණක් පැමිණ සිටියා. ඊට පෙර වෙසක් පොහොය නිමිත්තෙන් ලක්ෂ 20 ක පමණ ජනතාවක් කොළඹට පැමිණියා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා අවුරුදු උත්සව පැවැත්වුණා. මෙවර පොසොන් පොහොයට පමණක් ලංකාවේ දන්සැල් 20,000ට වැඩි ප්‍රමාණයක් තිබුණා. වසර කිහිපයකින් පසුව ජනතාවට නිදහසේ මෙම උත්සව සැමරීමට හැකිවී තිබෙනවා.
මෙතෙක් කාලයක් රටේ සහ තමන්ගේ අනාගතය පිළිබඳ ජනතාව බියෙන් පසු වුණා. රටේ රැඳී සිටිනවාද විදේශ ගත වෙනවාද කියා තීරණය කළ නොහැකිව සිටියා. පසුගිය වසර 04 තුළ රටේ ආර්ථිකය කඩා වැටුණා. රටේ විදුලි බලය තිබුණේ නැහැ. ආහාර, ඖෂධ, ඉන්ධන ද තිබුණේ නැහැ. හැම ව්‍යාපාරයක්ම කඩා වැටුණා. ඒ අනුව අනාගතය පිළිබඳ විශාල බියක් අප තුළ පැවතුණා. කොරියන් තානාපති කාර්යාලය අසළ රැකියා ලබා ගැනීම සඳහා තරුණ පිරිස් විශාල වශයෙන් රැස්ව සිටියා. තවත් පිරිසක් සෞදි අරාබියට යාමට සූදානම් වුණා. නමුත් දැන් ක්‍රම ක්‍රමයෙන් අපේ උත්සාහය මත රටේ ආර්ථිකය යහපත් වෙමින් පවතිනවා.”

WhatsApp Group

Skip to content