කොළඹ අලුත්කඩේ ප්‍රධාන පෙළේ අධිකරණයක නඩු බඩු කාමරයක තිබූ බවට සැක කරන මත්ද්‍රව්‍ය අස්ථාන ගතවීමත්, එම මත්ද්‍රව්‍ය බහාලූ මුද්‍රා සහිත කවරය එහි සේවය කරන පිස්කල් නිලධාරියෙකු සන්තකයේ තිබී සොයා ගැනීමත් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, එම අධිකරණයේ රාජකාරි කරන පිස්කල් නිලධාරීන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇත්තේ, එම අධිකරණයේ නඩු බඩු කාමරය භාරව සිටි තැනැත්තිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

එම පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, නඩු බඩු කාමරයේ ඇති මත්ද්‍රව්‍ය බහාලූ හිස් පාර්සලයක් එහි සේවය කරන පිස්කල්වරයෙකුගේ බෑගයක තිබෙණු දැක ඇති බවයි.

පසුව ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී එම පිස්කල්වරයා පොලිසිය සොයාගෙන ඇති අතර ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, එහි අඩංගු මත්ද්‍රව්‍ය තවත් පිස්කල් නිලධාරියෙකුට දුන් බවයි.

පසුව ඔහු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර ඔහු මත්කුඩු ගත් බව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය පිස්කල් නිලධාරීන් දෙදෙනාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

රස පරීක්ෂකවරයාගේ මුද්‍රාව සහිත මෙම මත්ද්‍රව්‍ය පාර්සලයේ අඩංගුව තිබූ මත්ද්‍රව්‍ය මෙතෙක් සොයාගෙන නැති අතර මත්ද්‍රව්‍ය සමග සීල් කරන ලද හිස් කවරය පමණක් පොලිසිය සිය භාරයට ගෙන ඇත.

කවරයේ අඩංගු මත්ද්‍රව්‍යවලට කුමක් සිදුවී ද යැයි මෙතෙක් අනාවරණය වී නැත.

කෙසෙල්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

WhatsApp Group

Skip to content