මුලතිව්,අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළි වළක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(10) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ඉඩම් හිමි අයිතිකරුවෙකු සිය ගෙවත්තේ පැවති පැරණි වැසිකිළි වළක කොන්ක්‍රීට් ආවරණයක් ඉවත් කිරීමට යාමේදී අදාළ පුපුරණ ද්‍රව්‍ය දැක ඇති බවයි.

අනතුරුව  ඉඩම් අයිතිකරු පොලිසිය දැනුවත් කොට ඇති අතර, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානය පරීක්ෂා කෙරිණ

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන් හා මුලතිව් පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී පැරණි වැසිකිළි වළ තුළ තිබි අත්බෝම්බ 56 ක්,මිලිමීටර 82 වර්ගයේ මෝටාර් උණ්ඩ 49 ක්,මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක්,ෆැරා උණ්ඩ 14 ක්,ආර්.පි.ජි උණ්ඩ හයක් සොයාගෙන තිබිණ.

යුධ සමයේ එල් ටි ටි සංවිධානය නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් වළ දමා ගිය පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස හමුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරති.සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

WhatsApp Group

Skip to content