ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ.
ඒ අනුව ඊට සහභාගී වන ලෙස විපක්ෂයේ පක්ෂ නායකයින් දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී නොවීමට පක්ෂ කිහිපයක් තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම සාකච්ඡාවට සහභාගී නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ලිපියක් මඟින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමටයි කටයුතු කරනු ලැබුවේ.

මේ අතර ජාතික ජන බලවේගයද අද පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස ආරාධනා කර නොමැති බවයි එම පක්ෂය සඳහන් කළේ.
ඒ අනුව ආරාධනයක් ලැබෙන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මේ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා සහභාගී වන බවට තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මෙම සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් මත දෙකක සිටින බවට වාර්තා වනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙසයි දන්වා ඇත්තේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා සඳහන් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content