ශ්රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක සභාවේ වාර්තාව අද (12) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අභියෝග රැසක් මැද මෙම වාර්තාව ඉදිරිපත් කරන බවයි.
තමාගේ විරෝධය මැද පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මෙම කාරක සභාවට කැඳවූ බවත් තමාව සමහරුන් දැඩි ලෙස සමච්චලයට ලක්කළ බවත් හෙතෙම මෙහිදී අනාවරණය කළේය. මෙහි ආයතන සමූහය ලෙස හඳුන්වන්නේ වීසා අයදුම්පත් මාර්ගගත ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ බලයලත් නියෝජිතායතනය ලෙස ජී.බී.එස්. ටෙක්නොලොජි සර්විසස් හා අයි.වී.එස්. ග්ලෝබල් – එෆ්.ඉසෙඩ්.සී.ඕ. සමාගම් සහ තාක්ෂණික සහකරු ලෙස වී.එෆ්. වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සීමාසහිත සමාගමයි.
මෙම ආයතන සමූහය සඳහා සේවාවන් ලබාගැනීමේදී තරගකාරී ලංසු තැබීමේ ක්රියාවලියක් නොතිබීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට මුදල් සඳහා හොඳම වටිනාකම ලබාගැනීම සඳහා බාධාවක් වූ බව මුදල් කාරක සභාවේ මතය වී තිබේ. මේ අනුව, ප්රසම්පාදන ක්රියාවලිය තුළ හඳුනාගත් සැලකිය යුතු කරුණු වලට අමතරව නොවිසඳී පැවතුණු ප්රධාන ගැටලු කිහිපයක් පවතී.