අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ආඩියාගල, නෙල්ලිකුළම හා නල්ලමුදාව ගම්මාන තුන සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පාලක්කුලි හා කළ්‍යානිපුර ගම්මාන 05 තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ වනවිට ක්‍රියාත්මක කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන 160ක් සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ යටතේ මෙම තෝරා ගැනීම සිදු කර ඇත.

මෙම ගම්මාන පහ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ පළමු අදියරෙහි කටයුතු ලබන සතියේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම වර්ෂයේ දී තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් රජය ලබා දී ඇත.
ඒ අනුව එක් ගමකට පළමු අදියර යටතේ යටතේ රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇත.

මීට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අදාළ ගම්මාන අවට ඇති සියලුම වැව්, අමුණු හා ඇළමාර්ග පද්ධති නවීකරණය කරනු ලබයි. මෙම කටයූතු සඳහා රුපියල් මිලියන 3000ක මුදලක් වැය කිරීමට නියමිතය.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ වගා ගම්මාන වැඩපිළිවෙළ යටතේ 2023 වසරේ ගම්මාන 11ක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළේය. මේ වනවිට මෙම වැඩපිළිවෙළ සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

WhatsApp Group

Skip to content