ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සමාගමක අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් අතර මතුවූ ආරවුල තවදුරටත් අධිකරණයේ විමසුමට තීරණය කර තිබේ.

මෙහිදී අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් ඒ පිළිබඳව මාසයක් ඇතුළත දැනුම් දෙන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය විසින් අදාළ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු වූ අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකුට හා සමාගමේ ලේකම්වරිය යන වගඋත්තරකරුවන්ට ඊයේ (20) නියෝග කරමින් දන්වා සිටින ලදී.

අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන තම සේවාදායකයාට එම තනතුරුවල කටයුතු කිරීමට බාධා නොකරන ලෙස අධිකරණය නිකුත් කල නියෝගය වගඋත්තරකරුවන් විසින් කඩ කරන ලද බවට ඔහුගේ නීතිඥවරයා විසින් කරනු ලැබූ කරුණු දැක්වීමෙන් පසුව වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මෙහිදී ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා පෙන්වා දුන්නේ ස්වකීය සේවාදායකයා වන අදාළ සමාගම් අධ්‍යක්ෂවරයා ස්වකීය සේවය උපරිමයෙන් ඉටුකර ඇති බවය. ඒ පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණයක් ලෙස මෙම අධ්‍යක්ෂවරයා, ඔහු නියෝජනය කළ සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති අයුරු හා පසුගිය වසර පහ තුළ ඔහු නියෝජනය කල සමාගම් වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ සමූහ සමාගමේ ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක ප්‍රතිශතයක් බව හෙළිදව් විය.

වග උත්තරකාර පාර්ශවය නියෝජනය කරනා අධ්‍යක්ෂක මෙහෙයවීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදන සමාගමක් වන එහි වත්මන් කාර්යය සාධනය පිළිබඳව ද අධිකරණයට කරුණු දැක්වීම සිදුවිය.

එම කරුණු දැක්වීම් අනුව පසුගිය වසර පහ තුළ ඔවුන්ගේ නායකත්වයෙන් යුත් අදාළ සමාගමේ පාවහන් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරිත්වයේ සාමාන්‍ය වාර්ෂික පාඩුව මිලියන 28ක් ලෙසයි වාර්තා වී තිබේ.

ඊට හාත්පසින්ම වෙනස්ව එම කාලය තුළම ස්වකීය තනතුරුහි කටයුතු කිරීමට විවිධ බාධාවන් රැසක් එල්ල වූ අදාළ අධ්‍යක්ෂකවරයාගේ නායකත්වයෙන් මෙම සමාගම් විශිෂ්ට ලෙස වාර්ෂික ලාභ කරා මෙහෙයවා තිබේ. ඔහුගේ ව්‍යාපාර වාර්ෂිකව මෙම සමූහ ව්‍යාපාරය වෙත රු.මිලියන 557ක ලාභ දායකත්වයක් ලබාදී ඇත්තේ රටවල් 75ක ට අධික ගෝලීය අපනයන ක්‍රියාවලියක් සමඟිනි.

මෙම අපහාස නඩුව හා ඊට සම්බන්ධ නඩු තුනක් ඊයේ (20) කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳවීය. ජනාධිපති නීතිඥවරු වන රොමේෂ් ද සිල්වා, නවීන් මාරපන ,ජේෂ්ඨ නීතිඥ සුගත් කල්දේරා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් මෙම නඩු සඳහා පෙනී සිටියහ.

අදාළ නඩු එළඹෙන දෙසැම්බර් 04 හා 15 වෙනි දින යළි කැඳවීමට විනිසුරුවරයා තීන්දු කළේය.

WhatsApp Group

Skip to content