අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මුදල් නොතිබීම හේතුවෙන් 50 හැවිරිදි සිය බිරිද මිය ගිය පසු හොර රහසේම 39 හැවිරිදි සැමියා
එදිනම රාත්‍රියේම ගේ පිටුපසු වලක් කපා බිරිද වල දමා තිබෙනවා.

මරණය නිත්‍යාණුකූලව සිදු කර නොමැති වීම හේතුවෙන් එම ස්වාමියා සැකකරුවෙකු ලෙස අත් අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ  පණ්ඩුකාභය පුර,විජය පුර පදිංචි අයෙක්.

මියගිය කාන්තාව සති දෙකකට වරක් තම මව බැලීමට මැදවච්චියට පැමිණෙන බවත් මීට දින කිහිපයක සිට ඇය
නොපැමිණි බවත් පවසා ඇයගේ පවුලේ ඥාතියෙකු විසින් මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුව මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා ඒ පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි සදහන් වන්නේ.

එහිදී තොරතුරු ලබා දුන් පවුලේ ඥාතියෙකු ඇය භාවිතා කළ දුරකථන අංකය මේ වන විට වෙනත් පුද්ගලයෙකු භාවිතා කරන බව ද පොලිසියට පවසා තිබෙනවා.

පරික්ෂණ වලට අනුව වාර්තා වන්නේ  මෙම කාන්තාව එම පුද්ගලයා සමග නිත්‍යානුකූල නොවන විවාහයක් මත අනුරාධපුර ප්‍රදේශයේ එක් නිවසක ජීවත්ව සිට ඇති බවයි.

එම දුරකතනය හරහා මෙම ස්වාමියා යැයි කියන  පුද්ගලයා මැදවච්චියට ගෙන්වා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

ඒ අනුව මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ බිරිඳගේ මවගේ නිවසේ සිටියදී  පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගත්තා.

එහිදී කළ මූලික විමර්ෂණ වලදී සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තම බිරිදට අධික රුධිර පීඩනය ඇති බවත් ඇය ඒ සදහා
බෙහෙත් ගෙනවිත් දෙන ලෙස ඔහුගෙන් ඉල්ලු බවය.

අතේ මුදල් නොතිබුණු මෙම පුද්ගලයා එදින වරුවකට ආසන්න කාලයක් කුලී වැඩ සිදු කර ලැබුනු මුදලින් පෙෂර් පෙති ගෙන ආ බවද සදහන් කළා.

අනතුරුව බිරිද කුස්සියේ මිරිස් ගල අසල බිත්තියට හේත්තු වී සිටිණු දැක එම ස්ථානයට ගොස් බිරිදට කතා කලද ඇය කතා කර නොමැති බවත්  ඇය ඒ වන විට මිය ගොස් සිටි බවද ඔහු කියා සිටියා .

අනතුරුව අතේ මුදල් නොතිබීම හේතුවෙන් රාත්‍රී කාලය වන තුරු සිට ගේ පිටුපස අඩි 04 ක පමණ වලක් කපා එහි වල දමු බවද  සැකකරු තව දුරටත් පාපොච්චාරණය කළා.

ඒ අනුව එම මරණය ස්වාභාවික මරණයක්ද යන්න පරික්ෂණ පොලීසිය සිදු කරන අතර එහි වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරු
අනුරාධපුර පොලිසිය වෙත භාර දීමට මැදවච්චිය පොලිසිය කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

 

 

WhatsApp Group

Skip to content