අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එම අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය මෙසේය.

අලුත් වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරයි.ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙනි. අලුත් අලුත් සිතුවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙනි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, ඍතුවෙන් ඍතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට ලැබී ඇති අවස්ථාවන්හි අලුත් වෙති. මේ හැම අලුත් වීමක් පසුපසම තවත් අතිශය වැදගත් කාරණයක් වෙයි. ඒ සමාජ සබඳතාව සහ සාමූහිකත්වයයි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ ද සබඳතාව සහ සාමූහිකත්වය කේන්ද්‍ර කොටගෙනය. ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මේ කරුණු පදනම් කරගෙනය.

අලුත් අවුරුද්ද අපට පෙන්වා දෙන මේ වැදගත් කරුණ පිළිබඳ මේ අවස්ථාවේ අවධාරණය කිරීම වඩාත් සුදුසු යැයි සිතමි.

අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වයයි.

ඒ වගත් සිහිපත් කරමින් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

WhatsApp Group

Skip to content