රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගත් වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන අද ආරම්භ කෙරෙනවා.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට මෙලෙස සහල් ලබා දීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ.

ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය ලබා දීමට සැලසුම් කර තිබුණ ද පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

හම්බන්තොට ලුනම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කලා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත පවුල්වලින් සියයට 52ක් මෙම නොමිලයේ ලබා දෙන සහල් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ විශාල පිරිසක් වී වගා කළත් තවමත් සහනාධාර ඉල්ලන පවුල් සියයට 52ක් සිටීම බැරෑරුම් ප්‍රශනයක් බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ඉල්ලුම් කර ඇති පරිදි ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

WhatsApp Group

Skip to content