පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින්  විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිබදව කරුණු දක්වමින් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිය මාධ්‍ය නිවේදනය මගින් හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ  බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය අනුගාමිකයෙක් ලෙස චැනල් ෆෝ  නාලිකාව විසින් හඳුන්වා දීම නිවැරදි නොවන බවයි.

මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු බවයි සිය නිවේදනය හරහා හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

එමෙන්ම 2015 වසරේ දී ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව 2019 දී ජනාධිපති ධූරයට පත්වන තෙක්ම තමා සහ සුරේෂ් සලේ අතර කිසිඳු සම්බන්ධතාවයක් නොතිබූ බවද හිටපු ජනපතිවරයා අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.

2018 වසරේ දී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ පාස්කු  ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අතර සිදු වූවා යැයි සැලකෙන හමුව සිදු වූ සමයේ තමන් මැලේසියාවේ සිටි බව සුරේෂ් සලේ විසින් චැනල් ෆෝ  නාලිකාව වෙත දන්වා ඇති බවද හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම හමුව පිළිබඳව පැවසෙන කරුණු ගොතන ලද කතාවක් බවයි  මෙම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

2015 – 2019 සමයේ ආණ්ඩුව, විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පවසන හිටපු ජනපතිවරයා එවන් සමයක හමුදා බුද්ධි අංශ විසින් පොලිස් විමර්ශන කඩාකප්පල් කළ බවට කරන ප්‍රකාශ හාස්‍යයට කරුණක් බවත් මෙම නිවේදනයේ සඳහන්.

WhatsApp Group

Skip to content