මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් සහ කඩිනම් විසදුම් ලබාදෙමින් මෙරට ජනතාවට  ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබේ.

එම වැඩපිළිවෙලට සමගාමීව පසුගියදා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හලාවත දිස්ත්‍රික් මහ රෝහලෙන් සහ  පුත්තලම මුලික රෝහලෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් හි ප්‍රගතිය සහ රෝහල් සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සදහා විශේෂ නිරික්ෂණයක යෙදෙන ලදි.

එහිදී බාහිර රෝගී අංශ, සායන, වාට්ටු,  රසායනාගාරය, ඖෂධ ගබඩා, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, නේවාසිකාගාර, මුළුතැන්ගෙය, මෙන්ම රෝහල් තුල ක්‍රියාත්මක නියමු ව්‍යාපෘති සහ රෝහල් සංවර්ධන වැඩසටහන් ද සෞඛ්‍ය ලේකම්වරයාගේ නිරික්ෂණයට ලක් කෙරිණි. තව ද නිරීක්ෂණ කටයුතු වලින් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක ද නිරත වෙමින් කාර්ය මණ්ඩලවලට පවතින රාජකාරී ගැටලු හා අනෙකුත් මානව හා භෞතික සම්පත් ගැටලු පිළිබදව විමසීමට මෙන්ම ඒවාට විසදුම් ලබාදීමට ද කටයුතු කරන ලදී.

හලාවත  දිස්ත්‍රික් මහ රෝහලට නව ගිලන් රථ දෙකක් කඩිනමින් ලබාදීමට සහ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් ද ලබාදීමට මෙහිදි තීරණය විය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති මුල්‍ය ප්‍රතිපාදන ඵලදායිව යොදාගැනීමට‌ කටයුතු කරමින් රෝහලේ සුළු අළුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ද මෙහිදී උපදෙස් ලබාදෙන ලද අතර, රෝහල මගින් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් සෞඛ්‍ය ලේකම්වරයාගේ විශේෂ ඇගයීමට ද ලක්කෙරිනි.

WhatsApp Group

Skip to content