මෙම වසර තුළ සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක් පිහිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එක් ගමකට රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණ වන අතර ඔවුන්ට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම, දේශීය වෙළෙදපළ මෙන්ම අපනයනය ඉලක්ක කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම මෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින කෘෂි නිෂ්පාදන සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.

මෙම වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර මේ සඳහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය මගින් මෙම වසර සඳහා ලබා දී තිබේ. ඒ අනුව රුපියල් මිලියන 1600ක මුදලක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සඳහා ලබා දීමට සැලසුම් කර ඇත.

මේ යටතේ එළවළු, පලතුරු, අනෙකුත් බෝගවර්ග, වැවිලි බෝග, මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත, ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන ආදි කර්මාන්ත සඳහා වන ව්‍යාපෘති මෙම ගම්මාන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

WhatsApp Group

Skip to content