ආණ්ඩු වෙනස් වීමේදී ප්‍රතිපත්ති ද වෙනස් වීම අපේ රටේ පවතින ප්‍රධාන ගැටළුවක් බවත් එම ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් රජය, මූල්‍ය හා පාලන අංශවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කර ඇති බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

එම සෑම පියවරක්ම ගනු ලැබූවේ ස්ථාවර ආර්ථික ක්‍රමයක් රට තුළ නිර්මාණය කිරීමට බව ද පෙන්වා දුන් ඒ මහතා මහබැංකු පනත, රාජ්‍ය මුල්‍ය පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත මේ වන විටත් ඉදිරිපත් කර තිබෙන අතර ආර්ථික පරිවර්තන නීතිය ද සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අද (24) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වරාය පිවිසුම් අධිවේගී මාර්ගය පිළිබඳ තාක්ෂණික සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට සාර්ථකව අවසන් කෙරෙමින් පවතින බව සඳහන් කළ සාගල රත්නායක මහතා මෙම ව්‍යාපෘතිය අවසන් වීමත් සමඟම එමඟින් මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙන බව ද පැවසීය.

WhatsApp Group

Skip to content