ලෝක ජනගහනයෙන් බිලියන 3.5 කට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග වැළ දී ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය මගින් දන්ත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 3.5 ක් වටිනා මයික්‍රෝ මෝටර්ස් දන්ත (Dental Micromotor) උපකරණ ලබාදීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම කරුණූ පෙන්වා දෙන ලදි.

දන්ත මයික්‍රෝ මෝටර්ස් යනු දන්ත සායන සහ ශල්‍යකර්ම සදහා භාවිතා කරනු ලබන විදුලියෙන් ක්‍රියාකරනු ලබන උපකරණයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියට Primary Health Systems Strengthening Project(PSSP) අනුව මාර්තු මස 20 දිනට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී මෙම උපකරණ ලබාදීම සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ ලෝකයේ බිලියන 3.5 ක් පමණ ජනතාව විවිධ මුඛ රෝගවලට භාජනය වී ඇති බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 දෙනෙකුට මුඛ රෝග වැළදී ඇති බවයි.

මෙය අප රටේ ද පොදු කාරණයක් බවත්, කුඩා ළමුන්ගෙන් සිටම මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා කටයුතු ආරම්භ කළ යුතු බව පැවැසූ සෞඛ්‍ය ලේකම්වරයා ඒ සදහා විශාල සහයෝගයක් පාසල් දන්ත චිකිත්සක නිලධාරින් ලබාදෙන බව ද පැවැසීය.

පාසල් දන්ත චිකිත්සක සේවාවට ශ්‍රී ලංකාව තුල වසර 60 ක් පමණ වන බවත්, දන්ත චිකිත්සක නිලධාරින් තව තවත් පුහුණූ කිරිම ද ඉතා වැදගත් කාරණයක් වන බවද පැවැසීය. මුඛ රෝග සහ ශරීර සෞඛ්‍ය අතර නිරන්තර බැදීමක් ඇති බව ද සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවැසිය.

මෙම අවස්ථාවට පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Group

Skip to content