මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුව පසුගිය අප්‍රියෙල් 29 දා සිට මැයි 01 වෙනිදා දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී (ICCG) පැවැත්විණ. රටවල් 130ක නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටි අතර ජිනීවා ජාත්‍යන්තර මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය (GICHD) සහ එක්සත් ජාතීන්ගේ බිම්බෝම්බ ක්‍රියාකාරීත්වය පිළිබඳ අන්තර් සම්බන්ධීකරණ කණ්ඩායම මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

ප්‍රධාන අතුරු සාකච්ඡා හතරකින් සමන්විත මෙම සමුළුවේදී එක් සාකච්ඡා සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවූයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් හා ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එස්. සත්‍යානන්ද හා නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. ප්‍රේමචන්ද්‍රිරන් යන මහත්වරුන්ය.
මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර ගිවිසුම අනුව බිම්බෝම්බ පිටු දැකීමේ ක්‍රියාවලියේ දී එක් එක් රටවල් ලබා ඇති ප්‍රගතිය එම ක්‍රියාවලිය සාර්ථකව මෙහෙයවීමේ දී ලබා ගත් අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමග ඒ සඳහා වූ අභියෝග හා ඉදිරි සැලසුම් පිළිබඳව මෙම සමුළුවේදී විශේෂ අවධානය යොමු විය.

බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වර්ග කි.මී. 3000කට අධික භූමි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති අතර ඉදිරි වසර 03තුළ ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ වර්ග කිලෝ මීටර් 23ක පමණ භූමියක පමණක් බවත් සත්‍යානන්ද මහතා සමුළුවේදී පෙන්වා දී ඇත.

WhatsApp Group

Skip to content