රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කලේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ දින අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් සංචාරක වීසා මඟින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශගත කර ඇති අතර, එරටදී රැසියානු-යුක්‍රේන යුද්ධයේ යුද පෙරමුණට යාමට මෙම ලාංකිකයින්ට සිදුවී තිබෙනවා.

මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධිකයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද අත්හිටුවා තිබෙනවා.

WhatsApp Group

Skip to content