රතුපස්වල දී ජනතා විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කර තිබෙනවා.
අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගම්පහ මහාධිකරණය අද මෙම නියෝග ලබාදෙනු ලැබුවා.
ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් 2013 වසරේ අගෝස්තු 01 වනදා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට යුද්ධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරා තිබුනා.

WhatsApp Group

Skip to content