රුපියල් දස කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රත්‍රන් ජෙල් තොගයක් සමග මෙරට ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්‍රන් ජෙල් විශාල කරල් 15ක් ලෙස සකස් කර , ඒවා සිය ගුද මාර්ග වල සගවා ගනිමින් මෙම ව්‍යාපාරිකයන් පැමිණ තිබෙන සිටි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සදහන් කළේ.

මෙම ව්‍යාපාරිකයන් කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන පුද්ගලයන් බවටයි අනාවරනය වී ඇත්තේ.

ඊයේ පස්වරු 01.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත මොවුන් පැමිණ තිබුණා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මතයි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

ජාවාරම්කරුවන් රත්‍රන් මේ ආකාරයට ජෙල් වශයෙන් සකස් කර නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරන අතර, මෙසේ සකස් කර ඇති ජෙල් යළි රත්තරන් බවට පත් කිරීමේ තාක්ෂණය කළාපීය වශයෙන් මේ වනවිට ඇත්තේ ඉන්දියාවේ පමණක් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content