විදේශගත ශ්‍රමික ප්‍රජාවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අතර තොරතුරු සම්බන්ධීකරණය කිරීමට පළාත් මට්ටමින් මාධ්‍ය සංසද පිහිටුවීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

 ඒ, ඌව පළාතේ වෘත්තිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී   පැවති වැඩසටහනේදියි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හා මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රවෘත්ති වාර්තාකරණයේදී විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව ජනතාව ප්‍රතිමානගත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවද දැනුවත් කිරිම සඳහා එම වැඩසටහන සංවිධානය කර තිබුණා.

විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ තොරතුරු වාර්තාකරණයේදී නිවැරදිව සහ වේගවත්ව මහජනයාට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා පළාත් මාධ්‍ය සංසඳ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් එහිදි අමාත්‍යවරයා කියා සිටියා.

විදේශ ගත ශ්‍රමිකයින්ට විදේශයන්හිදී ඇතිවන ගැටලු මෙන්ම ඔවුන්ගේ පවුල්වලට සුබසාධන අවශ්‍යතා පිළිබදව තොරතුරු ඉක්මණින් වාර්තා වන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වන බැවින් මාධ්‍ය‍වේදීන් මගින් තොරතුරු ඉතා ඉක්මණින් හා නිවැරදිව ලබාගැනිමට අදාල මාධ්‍ය සංසද මගින් හැකිවනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

බිම් මට්ටමේ තොරතුරු වාර්තාකරණයේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අදාළ සිදුවීම් සම්බන්ධව ගෙන ඇති පියවරයන් පිළිබඳවද සොයා බලන ලෙසද අමාත්‍යවරයා එහි පැමිණි සිටි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියා.

විදේශ රැකියා ජාවාරම්කරුවන්ගෙන් මහජනයා ගලවා ගැනීමත් ජාවාරම්කරුවන් හෙළිදරව් කොට ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනිමටත් මෙම ක්‍රමවේද ඉවහල් වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content