සියලු රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබාදෙන ආහාරවේලේ වෙනසක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව ආහාරවේල් බන්දේසියක දමා, බත් සහ ව්‍යංජනය වෙන වෙනම අසුරා විනිවිද පෙනෙන දවටනයකින් ආවරණය කර රෝගියාගේ අතටම ලබාදීම මෙම නව වැඩපිළිවෙලයි.

ඊට අමතරව, තරුපහේ හෝටල්වල සූපවේදීන් හරහා රෝහලේ ආහාර පිසින පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් සමග ඇඳුම් කට්ටලයක් ලබා දීමටත් තීරණය කර තිබෙනවා.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය එක් රෝගියෙකු වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදනයන් වැඩි කර දීමට කැමැත්ත පළ කර ඇති බව සඳහන්.
ඉතිරි මුදල දානපතියන්ගෙන් සපයා ගැනීමට තීරණය කළ බවයි පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ.

මෙම වැඩසටහන ජූලි මාසයේ මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කිරීමට නියමිත අතර පසුව ක්‍රමයෙන් රටපුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමටත් සැළසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content