ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කළ අතර සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කළේය. ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීති රීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළඳපොළ ලෙසත් කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සඳහා සිය වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, යුරෝපා සංගමය තුළ රැකියා අවස්ථා වැඩි කිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සහාය දැක්වීමට ඇති කැපවීම යුරෝපා සංගම් නියෝජිතයෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ තහවුරු කළහ.

එසේම, දැනුම හුවමාරු කර ගැනීම, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන්හි නව යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට ද යුරෝපා සංගමය ජනාධිපතිවරයා හමුවේ සහතික වූහ.

WhatsApp Group

Skip to content