උණ රෝගය වැළදී රෝහල් ගත කළ යාපනය විශ්ව විද්‍යාලීය සිසුවියක් 24 වැනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසර අධ්‍යාපනය ලද ගුණරත්නම් සුබීනා නමැති සිසුවියක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

ඩෙංගු උණ රෝගය වැළදුණ දැරිය යාපනය තෙලිප්පලෙයි රෝහලට පළමුව ඇතුළත් කොට ඇති අතර, එහිදි වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවිය මියගොස් ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මියගිය සරසවි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී සිදුකොට ඇති අතර, ඩෙංගු උණ රෝගය සමඟ හටගත් සංකූලතාවයකින් තරුණිය මියගොස් ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය වි ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ අතර යාපනය රෝහල තුළ මේ වන විට ඩෙංගු රෝගීන් 114 දෙනෙකු නේවාසික ප්‍රතිකාර වෙනුවෙන් ඇතුළත්ව ඇති බව යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පවසනවා.

පැවති වැසි තත්වය සමඟ යාපනය දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, තමන් අවට පරිසරය පවිත්‍රව තබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටද රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

යාපනය දිස්ත්‍රික්කය තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ හා පළාත් පාලන අංශ ප්‍රධානීන් අතර සාකච්ජාවක්ද පසුගියදා පැවැත්වුණා.

එහිදි යාපනය දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසටද ආණ්ඩුකාරවරිය පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content