ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් පසුගිය 22 වන දින නාගදීප විහාරස්ථානයේ දී පැවැත්වුණි.
මෙම උත්සව අවස්ථාව සඳහා කාම්බෝජය, මැලේසියාව, ඉන්දියාව, නේපාලය, නවසීලන්තය, කැනඩාවථ තායිලන්තය, පාකිස්ථානය ඇතුළු ථෙරවාදී බෞද්ධ රටවල් 24ක ගිහි පැවිදි නියෝජිතයින් 300කට ආසන්න පිරිසක් සහභාගීවී සිටියහ.
බුදුන්වහන්සේගේ දෙවන ලංකා ගමනාගමනය සිදු වුණු මෙම පූජනීය පින් බිමේ මෙවැනි ජාත්යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීමට හැකිවීම සුවිශේෂි අවස්ථාවක් ලෙස තමන් දකින බව නාගදීප විහාරස්ථානාධිපති පූජ්ය නවදගල පදුම කිත්ති ස්වාමීන් වහන්සේ පැවසීය. එමෙන්ම අවුරුදු 30 ක යුද්ධයෙන් පසුව යාපනය කේන්ද්රව පවත්වන පළමු ජාත්යන්තර සංඝ සමුළුව මෙය බවත් උන්වහන්සේ ප්රකාශ කළහ.
උතුරු පළාත විදේශීය සංචාරකයින් අතර ජනප්රිය කිරීමත් සහ සහජීවනය ඇති කිරීමත් අරමුණු කරගනිමින් මෙම සුවිශේෂී වූ ජාත්යන්තර සමුළුව යාපනය ආශ්රිතව පැවැත්වීමට කටයුතු කල බව සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී පුජ්ය මුගුණුවෙල අනුරුද්ධ නා හිමියෝ පැවසූහ..
මෙම උත්සව අවස්ථාවට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් එළි දැක්වීමක්ද සිදු කරන ලදී. එසේම නාගදීප විහාරස්ථානය අවට පාසල් තුනක සිසු සිසුවියන් සඳහා නිල ඇඳුම් බෙදා දීමක් ද සිදු විය.
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය සහ රාජ්ය නිලධාරීන්, ත්රිවිධ හමුදාවේ, පොලීසියේ ජ්යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් එක් විය.

WhatsApp Group

Skip to content