2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය මාර්තු මාසයේ දී හිමි විය.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් මෙවර යල කන්නයේදීත් වී වගා කරන ගොවි ජනතාව සඳහා ලබා දීමට කටයුතු යොදා තිබේ. මෙම මුදල යොදාගනිමින් පොහොර මිල දී ගැනීම හෝ වී වගාව සඳහා වන වෙනත් කවර කටයුත්තක් සඳහා වුව ද මෙම මුදල යොදා ගැනීමට පිළිවන.

මෙම මුදල් මෙතෙක් ලැබී නැතැයි ඇතැම් ගොවි සංවිධාන විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධව අවධානය යොමු කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීය.
ඒ අනුව යල කන්නයේ වී වගා කිරීම මේ වනවිට ආරම්භ කර ඇති නමුත් යල කන්නයේ දී වී වගා කරන ගොවින් සම්බන්ධව නිවැරදි තොරතුරු මේ වනවිට එක්රැස් කරමින් සිටින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙම කටයුතු මෙම සතිය තුළ අවසන් කෙරේ.

දැනට තිබෙන තොරතුරු අනුව මේ වනවිට වී වගා කටයුතු අවසන් කර තිබෙන්නේ හෙක්ටයාර් 25,000ක පමණි. නමුත් යල කන්නයේ දී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 06කි. පොහොර යොදන්නේ වගා කිරීමෙන් අනතුරුව බැවින් කුඹුරු වගා කිරීමෙන් පසු මෙම මුල්‍යමය සහනාධාරය ලබා දීමට කටයුතු යොදා තිබේ.

මේ අනුව යල කන්නයේ වී වගාව සඳහා ලබා දෙන මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලට ම බැර කිරීම ලබන සතියේ සිට අරඹන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි
මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 7.5කි.

WhatsApp Group

Skip to content