ශ්‍රී ලංකාවේ විශාලතම මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ ප්‍රතිමාව විවෘත කිරීම මැයි මස 20 වන දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

පූජාපිටිය, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අභිනවයෙන් ඉදි කරන ලද අඩි 34ක් උසැති මෙම ප්‍රතිමා වහන්සේ එහි විහාරාධිපති උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක රාජාංගනයේ සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදි කොට තිබේ.

රුපියල් මිලියන 08ක වියදමින් ඉදිකොට ඇති මෙම ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ වාස්තු නිර්මාණ ශිල්පී ඩබ්ලියු. එම්. ආරියරත්න කලාකරුවා විසිනි.

පිළිමය විවෘත කිරිමේ අවස්ථාවට සමගාමීව මෙත් බෝ වන්දනා ග්‍රන්ථය දොරට වැඩුම සහ බෝධි පූජාවක් පූජ්‍ය බටගල්ලේ ධම්මරතන හිමි සහ පූජ්‍ය දියසෙන්පුර විනීත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට ද නියමිතය.

ඉදිරි උත්සව අවස්ථාව පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරයේදී පැවැති අතර විවෘත කිරීමේ අවස්ථාව සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගිවීමට නියමිතය.

WhatsApp Group

Skip to content