රටේ පවතින ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මූලධර්මවලින් තමා කිසිවිටෙකත් ඉවත් වී නැති බවත්, සියලුම පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ මහජන යහපත සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් මඟින් සමස්ථ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ප්‍රතිපත්තීන් දෙක ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය නැවත ලිවීමට බෙහෙවින් ප්‍රමාණවත් බව පැවසු ජනාධිපතිවරයා එම ප්‍රතිපත්තින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් වන බැවින් තමා ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කරන බවට කිසිවෙකුට චෝදනා කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (13) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භ වූ සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ “SAARCFINANCE” සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

මේ වන විට කලාපයේ බොහෝ රටවල මැතිවරණ ජයග්‍රහණය කර අලුත් ආණ්ඩු පත්වී තිබෙන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවද මැතිවරණයක් කරා ගමන් කරමින් සිටින බවත් සුපුරුදු ක්‍රමයට සෑම වසර පහකට වරක් ආණ්ඩුව වෙනස් කිරීමට උත්සාහ කරනවාද, නැතහොත් රට ජයග්‍රහණය කරනවාද යන්න මෙවර මැතිවරණයේ දී තීරණය කළ යුතු බවත් පැවසීය.

WhatsApp Group

Skip to content