මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය වසර 07 ක පමණ කාලයකින් එම සමිතියේ ගිණුම් සමූපකාර දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයට ඉදිරිපත් නොකිරීම නිසා ව්‍යවස්ථාපිත විගණනයක් සිදුකිරීමට නොහැකිව තිබෙන බවත්, එසේ ගිණුම් ඉදිරිපත් නොකිරීමට එරෙහිව  නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවත් මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ, නුවරඑළිය කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්  එස්.එස්.ප්‍රේමසිංහ මහත්මිය පැවසුවා.

මධ්‍යම පලාත් සමූපකාර දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ග්‍රාමීය බැංකු ශාඛාවල ගිණුම් සම්බන්ධව විමසා 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වෙත අප විසින් අයදුම්පත්‍රයක් යොමු කර තිබුණ.එම අයදුම් පත්‍රයට ප්‍රථිචාර දක්වමින්, 2016.09.01 දින සිට මධ්‍යම පලාත් සමූපකාර දෙපාර්තමේන්තුව මගින් මස්කෙළිය සමූපකාර සමිතියේ මේ දක්වා ව්‍යවස්ථාපිත විගණනයක් සිදුකර නොමැති බවට නුවරඑළිය  නියෝජ්‍ය කොමසාරිස් තුමියගේ අත්සනින්  අප වෙත එවා තිබූ ලිපියක්  උපුටා දක්වමින් මාධ්‍ය මගින් පසුගියදා පළ කර තිබූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නුවරඑළිය නියෝජ්‍ය කොමසාරිස්වරිය එසේ පැවසුවා.

මස්කෙළිය සමූපකාර සමිතියේ ගිණුම් ඉදිරිපත් කරන ලෙස එම සමිතියට දිගින් දිගටම දන්වා ඇතත්, ගිණුම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයක් කළ නොහැකි බවත්, සාමාන්‍යයෙන් විගණනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව මගින් එක් නිලධාරියෙක් පමණක් තමන් විසින් යොමු කරන බවත් පවසන නියෝජ්‍ය කොමසාරිස් තුමිය,  මස්කෙළිය සමිතියේ ගිණුම් වාර්තා ලබා නොදීම නිසා තමන්ද ඇතුළුව කණ්ඩායම් වශයෙන් සමිතියට ගොස් ගිණුම් වාර්තා ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් සමිතියෙන් ඒවා මේ දක්වා ලබා නොදුන් බවත් ඇය ප්‍රකාශ කළා.

එය වෙනත් ආයතනයක් නිසා තමන්ට බලහත්කාරයෙන් ගිණුම් වාර්තා ලබාගත නොහැකි නිසා ගිණුම් ඉදිරිපත් නොකිරීම සම්බන්ධව සමිතියට එරෙහිව මේ වන විට නීත්‍යාණුකුලව කටයුතු කිරීම සඳහා නීති අංශය වෙත යොමු කර ඇති බව  නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් එස්.එස්.ප්‍රේමසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

WhatsApp Group

Skip to content