හොරොව්පොතාන, දියතිත්තවැව නන්දමිත්‍ර ආරණ්‍ය සේනාසනයෙහි වැඩවාසය කරමින් සිටි හිමිවරුන් දෙදෙනෙකුට සහ එම ආරණ්‍ය සේනාසනයෙහි රියදුරු ලෙස කටයුතු කළ අයෙකුට බීමතින් පැමිණි පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පූජ්‍ය නන්දාලංකාර, අංගන්ගොඩ පඤ්ඤාවංශ යන හිමිවරුන්ට සහ ආරණ්‍ය සේනාසනයේ රියදුරු ලෙස කටයුතු කළ ලිහිණි ගවුතම් යන අයයි.

එම සෙනසුනේ වැඩවාසය කරනු ලබන පඤ්ඤාවංශ හිමියන් හොරොව්පොතාන පොලිසියට කරන ලද පැමිණිල්ලක දැක්වෙන්නේ දියතිත්තවැව, පරංයාවාඩිය, හොරොව්පොතාන ලිපිනයේ පදිංචි පිරිසක් ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරනු ලබන දියතිත්තවැව නන්දිමිත්‍ර ආරණය සේනාසනයට පැමිණ පහරදුන් බවයි.

පහරකෑමට ලක්වූ හිමිවරුන් හා රියදුරු ප්‍රතිකාර හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර සිටින බවයි පොලිසිය කියා සිටියේ.

හොරොව්පොතාන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන නායක ස්වාමීන් වහන්සේලාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ බීමත්ව සිටි පිරිසක් තම විහාරස්ථානයට පැමිණි බවත් එයට විරෝධය පෑමට යාමේදී අධික ලෙස මත්පැන් පානය කර සිටි පිරිස පරුෂ වචනයෙන් බැණ ස්වාමීන් වහන්සේලා දෙනමට සහ විහාරස්ථානයේ රියදුරුට පහර දුන් බවයි.

හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අතර යුද හමුදාවේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණි පුද්ගලයෙක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන පුද්ගලයෙකු සහ යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලයකු ද වන බවත්ය.

එසේම පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගෙන් දෙදෙනෙකුද මේ වන විට හිමිවරුන් විසින් පහරදුන් බව පවසමින් හොරොව්පොතාන රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් එක් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරන බවත් හොරොව්පොතාන පොලිසිය කියා සිටිය.

WhatsApp Group

Skip to content