බණ්ඩාරවෙල පාසල්වලට දරුවන් පැමිණිමට පෙර පාසල් බිම හා ගොඩනැගිලි පූර්ව පරීක්ෂාවට ලක්කර ආපදා තත්ත්වයක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස බණ්ඩාරවෙල පාසල් 144ක විදුහල්පතිවරුන්ට දැන් වූ බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් පවසනවා.

එමෙන්ම ආපදා තත්වයක් ගැන මුලිකව දර්ශනය වන්නේ නම් අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලයද අදාල පාසලේ විදුහල්පතිවරුන්ට පවරා තිබෙන බවයි ඔහු සදහන් කළේ.

මෙම ප්‍රදේශවලට දැනට පවතින අධික වර්ෂාව සහ නාය යෑමේ අනතුරු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග මතුවී ඇති නායයාමේ අවදානම හේතුවෙන් හල්දුම්මුල්ල කොස්ලන්දේ පාසල් තුනක් අද දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මීරියබැද්ද, මකල්දෙණිය සහ ආර්නෝල්ඩ් යන පාසල් තුන අද වසා තැබීමට පියවර ගත් බවයි හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය සදහන් කලේ.

කෙසේ වෙතත් එම පාසල්වල අඩු සිසුන් පිරිසක් සිටින බැවින් ආසන්න වෙනත් පාසල් වලට එම සිසුන් කැඳවා අද දිනයේදී ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ආපදා කඳවුරු ක්‍රියාත්මක පාසල්වල ද ඉගැන්වීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවද කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පැවසුවා .

මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්දැමුණු දකුණු පළාතේ පාසල් වල දෙවන වාර පරීක්ෂණය අද සිට ආරම්භ කෙරෙන බව පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ තවදුරටත් ගංවතුර බැස නොගිය ප්‍රදේශවලට අයත් පාසල් වල පමණක් වාර පරීක්ෂණය එම තත්ත්වය පහව ගිය පසු පවත්වන බවයි.

WhatsApp Group

Skip to content